උණුසුම් ග්රීෂ්ම කාලය ගෙවිලා, සුන්දර සරත් සමය එළඹිලා. වෙනදා වගේම මේ පාරත් ගස් වල කොළ නොයෙක් වර්ණවලට හැරිලා. තවත් ටික දවසකින් මේ කොළ ඔක්කොම හැලිලා ගිහිල්ලා කටුක ශිත කාලය උදා වෙනවා නේද කියලා මතක් වෙලා හිතට දුකක් දැනුණත් (ඒ මම ශිත කාලයට පොඩ්ඩක්වත් කැමති නැති නිසා), එත් ඇයි ශිත කාලය ගැන දැන් ඉඳලම දුක් වෙන්නේ කියලා මම හිතුවා. ඒ නිසා සරත් සමයට හැඩ වෙලා ඉන්න ලස්සන වට පිටාව බලන්න හිතුණා. මේ පාර සරත් සමයේ ලස්සන වෙනදාටත් වඩා හොඳට බලන්න පුළුවන් වුණේ ලස්සන පළාතක් හරහා කෝච්චියෙන් ගිය නිසයි. නිකන්ම කෝච්චියක් නෙමෙයි, දුම් කෝච්චියක්. ඇමෙරිකාව කියන්නේ නවීන යාන වාහන, යන්ත්ර සූත්ර පිරුණු රටක් වුණත් අපිට හිතා ගන්නත් අමාරු තරමටම සමහර පැරණි දේවල්වලට ලොකු වටිනාකමක් දෙන්න එයාලාට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අවුරුදු ගානකට කලින් හදපු කෝච්චි පාරක් තවදුරත් උවමනා නොවන කාලයක් ආවම, ඒ පාරේ දුවපු දුම් කොචිච්ය නිවාඩු දවසට/සති අන්තයට සතුටු සවාරියක් යන්න පුළුවන් වෙන්න නවීකරණය කරලා තියෙන්නේ. ඉතින් මේ කෝච්චියේ නැගලා බූන් නගරයේ ඉදලා ඩි මොයින් නගරයටත් නැවත බූන් නගරයත් එන්න පුළුවන්. මේ මාර්ගය විහිදිලා තියෙන්නේ පෞරාණික වැදගත් කමක් තිබෙන තැන් කිහිපයක් හරහා. ඒ වගේම ඉතා සුන්දර ඩි මොයින් ගංගාවත් ඒ අවට තිබෙන අලංකාර වන ලැහැබ් වල දර්ශනයත් ඒ සියල්ලටම උඩින් දිවෙන මේ කොච්චියේ ඉඳලා බලන්න පුළුවන්. අවුරුද්දේ හැමදාටමත් වඩා වටපිටාව ලස්සන සරත් සමය තරම් කාලයක් මේ කොච්චි සවාරිය යන්න තවත් නෑ කියලා මට හිතුණා.










